ඉහත රූපය

අනුරාධපුර මහමෙවුනාවේ... 1989 අසාර්ථක ජේවීපී සටනට දෙවන වරටත් සහභාගිවී (පළමුවර 1971 අසාර්ථක ජේවීපී සටන)බූස්ස පුනරුත්ථාපන කඳවුරේදී මට හමුවූ "බුලට්" නොහොත් "රොබට්" සීයා සමඟ ගත් සේයාරුවක් - මගේ අදියුරුවම අනුව සේයාරුව ගත්තේ ආචාර්ය පියසිරි විජයසේකර (මා ආදරේට කියන්නේ සිරි අයියා කියා)විසිනි.

November 22, 2010

පියමං කළ ළමා වියෙන්...

මේ මං පිළිබඳ මගේ අම්මා පිළිබඳ ලියන අසම්පූර්ණ ජීවිත සටහනක්. මොක උනත් පටන්ගන්න  ඕනේ උපතේ ඉඳලනේ. මගේ පුංචි කාලේ ගැන හරියටම කියන්ට මට බෑහැ. අනික හරියටම මං ගැන කියන්ට පුලූවන් අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ. හිටියත් තාත්තා නම් මොනවා කියයි ද මන්දා... ඒ වුනාට අම්මා නම් කියයි බඩ කට පුරාම ....

අම්මා ගෙන් මං දැනගත්ත විදියට තමයි මං මේ ටික කියන්නේ. අම්මාට අගෞරවයක් වෙන නිසා මං අතින් පයින් වැඩිපුර දාන්න යන්නේ නෑ...

මගේ උපන් ගම ගම්පොළ. හැදිලා වැඩිලා පාසල් ගිහිං ලොකු මහත් වුනෙත් ගම්පොළමයි. මමයි රෝහණයියයි විතරයි අපේ පවුලේ හිටියේ... තාත්තා ලක්ෂපානේ වැඩ කළ විදුලි ඉන්ජිනේරුවෙක්... ඒ නිසා තාත්තා වැඩිපුර ගෙදර හිටියේ නෑ. අම්මා ඉස්සර ඉංගී‍්‍රසි ගුරුවරියක්. මං ඉපදිලා මාස 3 කට විතර පස්සේ අම්මාට ක්ෂය රෝගය වැළදිලා තියෙනවා. ඒ නිසා අම්මාට ගුරු වෘත්තියට ආයුබොවන් කියන්න සිද්ධ වුනා විතරක් නෙවෙයි, මට කිරි දීමත් නවත්වන්න සිද්ධ වෙලා තියෙනවා...

අපේ අම්මා කිරිම කිරි සුදුයි. එ් නිසා හැමෝම ඇයව ආමන්ත‍්‍රණය කළේ ‘‘සුදු’’ යන විශේෂන පදය මුලට දාලා...‘‘ සුදූ... සුදු නංගි, සුදු අක්කා, සුදු පුංචි, සුදු නැන්දා, සුදු ඇන්ටි, සුදුහාමිනේ, සුදුනෝනේ..’’ ආදී පද වලින් තමයි කවුරුත් අම්මා ඇමතුවේ. අපේ තාත්තා නම් කවදත් කතා කලේ ‘‘සුද්දී’’ කියලා.

අම්මා  සුදු වීම නිසාම, ඒ තරම් සුදක් නොතිබුනත් මමත් නිකම්ම සුදු මහත්තයා වුනා. රෝහණයියට පොඩි කාලෙදි  ගමේ කවුරුවත් සුදුමහත්තයා කියලා කතා කළේ නෑ. ඒකාලේ ඒක ගැන පොඩි ඉරිසියාවකුත් එයාට තිබිලා තියෙනවා... 

ගමේ කවුරුහරි මාව ‘‘සුදු මහත්තයා’’ කියලා වඩාගන්නකොට එයා කියනවලූ ‘‘මන්ඩි සුදු නැහැ.. මමයි සුදු’’ කියලා. සමහරු එයාව අවුස්සන්නත් එක්කලා ඒකාලේ මාව වඩාගෙන ‘‘අපේ සුදු මහත්තයා සුදුම සුදුයි’’ කියලා කියනවලූ. කොහොමෙන් කොහොමහරි හරි මං සුදුමහත්තයා වුනා. රෝහණයියා නම් මං දන්න, මට හොඳට තේරෙන කාලේ දක්වාම මට කිව්වේ ‘‘මන්ඩි’’ කියලා තමයි.

අම්මාට ක්ෂය රෝගය වැළඳීම ගැන දැන් හිතන කොට මට විශාල දුකක්. අම්මට ක්ෂය රෝගෙ වැළඳුනා කියලා ෙදාස්තරලට ඉස්සෙල්ලා හොයාගෙන තියෙන්නෙත් මං... අම්මා කොච්චර මහන්සිවෙලා කිරි පොවන්න හැදුවත් මං නෙවෙයි ලූ බිව්වේ... පස්සේ මං කිරි නොබොන ලෙඬේට බෙහෙත් අරන්දෙන්න ලියාම තමයි අම්මාගේ ලෙඬේ ෙදාස්තරට අහුවෙලා තියෙන්නේ... මුල් අවස්ථාවේදීම ලෙඬේ හඳුනගත්ත නිසා තමයි අම්මාගේ ජීවිතේ පවා බේරුනේ කියන එක අම්මා හැමදාමත් කිව්ව දෙයක්.  
  
එ් නිසාමත් නෙවෙයි, ඒක අවාසනාවන්ත සිදුවීමක් ලෙස දකින්න මං කොහෙත්ම කැමති නෑ... එ්කට හේතුව තමයි මට තවත් කිරි අම්මලා දහදෙනෙකුගෙන්ම කිරි බීමට අවස්ථාව ලැබීම... එ් වගේ අවස්ථාවක් ලෙහෙසියෙන් ලැබෙන්නෙ නැහැ කිසිම කෙනෙකුට...

‘‘ අනේ මගේ කොලු පැටියාට කිරි ඩිංගක් දීලා, විටක් හපලා පලයං කෝ වෙලාවක් තියේනම්’’

මගේ අම්මා ගමේ දන්නා හඳුනන කාන්තාවක් දුටු පමණින් මෙහෙම කිව්වාම, අනේ කිසිම ලෝබ කමක් නැතිව, තමන්ගේ දරුවා ඇකයේ රුවාගෙන, තවත් සමහරවිට හිටගෙනම උනත් මගේ කිරිඅම්මලා, හැට්ටේ කටුවක් දෙකක් ගලවලා කිරි පිරුනු තනේ මගේ දෙතොල් අතර තියනවාලූ. එහෙම කරලා, කිරි අම්මලා මහත් ආඩම්බරයෙන් කියනවාලූ මෙහෙම..... 

‘‘ අපේ මේ සුදු මහත්තයට නැති කිරි කොයින්ද මං ළඟ’’ කියලා.

සමහර කිරි අම්මලා ඔහොම කියනකොට, අපේ තාත්තා එහෙම ළඟ පාතක හිටියොත් එහෙම, අම්මා කියනවාලූ ‘‘අනේ මං නොදන්නවයැ ඒ හරිය ’’ කියලා. තාත්තා කට කොනකින් හිනාවෙලා මඟහැරලා යනවලූ එහෙම වෙලාවල.

ඒ කාලේ තියා, කරදඬු උස්මහත් වෙනකම්ම මට නං බැරිවුනා අපෙ අම්මගේ ඔය කතා තේරුම්ගන්න.

ඇත්තටම, මට මේ කිරි අම්මලාගේ කිරිවල හෝ තනපුඩුවල කිසිම වෙනසක් දැනිලා නෑ. හැම මව්කිරිම එක හා සමානය කියන එකට හොඳම නිදසුනක් තමයි ඒක.

ඉතිං මේ කිරි අම්මලා විටක් හපලා, ඊට පස්සේ කට හොඳට කුඹුස්සලා හෝදලා දාලා, අම්මා කන්ට දෙන දෙයක් කාලා, ආයෙත් හදලා දෙන තේ කොප්පේ බීලා, ආයෙත් සැරයක් විටක් කටේ රුවාගෙන, අම්මාගේ ලොකු දුංකොළ කෑල්ලෙනුත් වැඩිපුර ටිකක් හොරෙන් අතේ ගුලි කරගෙන යනවාලූ. ඒ හින්දා විතරක් නෙවෙයි, අපේ අම්මා හොඳට අඩුවැඩිය දාලා සුවඳට හපන බුලත් විටෙන් එකල මටත් අයියාටත් කන්ට දීලා පුරුදු කළ නිසාම මං මේ බ්රූනායි එනකම්ම බුලත්කෑම නම් නතර කළේ නෑ.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙයි කිව්වා වගේ අයියා පසු කලෙක ෙදාස්තර කෙනෙක් වෙන එක එයාට දැනුන නිසාද කොහෙදෝ, අම්මා කටින් හපලා දෙන ’’හපය’’ විතරක් නෙවෙයි නිකමට බුලත්විටක් හපන එකත් නැවැත්තුවා.
                                                               
අනික මට කිරි දුන්න කිරිඅම්මලා එකල බෝතලාපිටිය, කහටපිටිය යන ගම් දෙකේ ජීවත් වූ විවිධ සමාජ පංති වලට අයත් අය. එ්කාලේ අපේ නෑදෑ ගෙවල්වල සුලභ දසුනක් වූ ‘‘ඉස්සරහා තියන විශේෂ දිග බංකුව’’ අපේ ගෙදර කවදාකවත් ඉස්සරහට නාවේ කවමදාකවත් මගේ පියා සමාජවාදියෙක් වූ නිසා නම් නොවේ.

අම්මා පසු කලෙක කී පරිදි ‘‘උඹලගේ තාත්තාට නම් ගඳ සුවඳ කිසිදාක තේරුනේ නැහැ’’  කියන කතාවේ තේරුම හරියටම තේරුම්ගන්ට පුලුවන් වුනෙත් කරදඬු බොහොම උස්මහත් වුනාට පස්සේ. 

තාත්තාගේ ජාන මගේ තුළත් නොඅඩුව තිබෙන නිසාදෝ, එසේත් නැත්නම් ‘‘කිරිඅම්මලාගෙන්’’ කිරිබීපු අත්දැකීමට පින්සිදුවෙන්නට දෝ, මට මේ තන පුඩුවල කිසිම වෙනසක් අදත් දැනෙන්නේ නෑනේ...

මං ඉපදුනේ ගම්පොළ ආණ්ඩුවේ ඉස්පිරිතාලේ. ඔන්න බලන්නකො එකත් වැඬේ... එ් කාලෙත් ප‍්‍රයිවේට් බස් තිබුනාලූ. මගේ අම්මා මාව බඩින් දරාගෙන එ් බස් එකක ගිහිං බහින්න ලැහැස්ති වෙනකොට සිද්ධ වෙච්චි වැටිල්ලක් හින්දා, මෙලොවට බිහිවෙන්න නියමිත මාස දෙක තුනකට කලින් තමයි මාව මෙලොවට බිහිවෙලා තියෙන්නේ. 

( හැබැයි ඒක හින්දා වෙන්ට ඇති මං කවදත් ප‍්‍රයිවෙට් බස්කාරයො එක්ක මාර තරහයි. බස් එකකට නැග්ගොත් කොහොමහරි දාගන්නවා කොක්කක් ඩ‍්‍රයිවර් එක්ක)

මං ඉපදෙන කොට අපෙ අම්මාගේ අත්ලින් එකයිලූ. අනේ උන්දැගේ අත්ල මහා ලොකු එකක් හෙම නෙවෙයි, බොහොම පුංචියි... අම්මගෙ අත්ල ගැන හිතන කොට මං ඉන්ට ඇත්තේ ‘‘පොඩි දැල්ලෙක් ’’ ගේ ප‍්‍රමාණයෙන් කියලා හිතෙනවා. විශේෂයෙන්ම දැනුත් මාලු මාර්කට් එකට යන හැම වෙලාවකම මට එහෙම හිතෙනවා.

මං ඉපදෙන්න ඉන්න කාලේ අම්මා බෝධි පූජාවක් කරන්ට පන්සලට ගිය වෙලාවක අපේ නායක හාමුදුරුවෝ අහලා තියෙනවා ගගගගගග

‘‘ සුදුහාමිනේ මේ පාර බලාපොරොත්තු වෙන්නේ ගැහැණු ළමයෙක්ද නැත්නම් පිරිමි ළමයෙක් ද? ’’ කියලා.

‘‘අපේ හාමුදුරුවනේ දැන් ඉතිං කොල්ලෙක් ඉන්න එකේ කෙල්ලෙක් හිටියා නම් තමයි හොඳ ..’’ කියලා ඇකයේ හිටපු මගේ අයියා දිහා බලාන අම්මා කිව්වලූ.

‘‘ඒ වුනාට මේ පාරත් කොල්ලෙක්ම තමයි’’  කියාගෙන නායක හාමුදුරුවෝ වෙන දිහාවකට වැඩියාලූ. අපේ අම්මට ඒකට ටිකක් තරහත් ගියාලූ. එ්ත් මොනවා කරන්නද? බනින්න කියලද? ලොකු හාමුදුරුවොනේ.

‘‘ අපේ ලොකු හාමුදුරුවන්ටත්  ඕනෑ නැති දෙයක් නෑ...’’ කියලා, අම්මා අයියාව තනි නොතනියට එක්කරන් ගිය ‘‘නන්දා’’ ට දීලා වෙනදටත් වඩා වැඩියෙන් පින්දීලා ගැහැණු ළමයෙක් ලැබෙන්න ප‍්‍රාර්ථනා කරලා තියෙනවා...නන්දා සුවිශේෂ චරිතයක්. මගේ කිරිඅම්මා කෙනෙක්.

දෛවයේ සරදම කියන්නේ මේකයි... මං ගෑණු ළමයෙක් නොවී පිරිමි ළමයෙක් වුන එක නෙවෙයි... මව්කිරි දරුවෙකුට දිය හැකි වඩාත්ම පෝෂ්‍යදායි එකම ආහාරය කියලා එදත් අදත් කවදත් මු`ඵ ලෝකෙම පිළිගන්නා සත්‍යයක්.

කිරි අම්මලා දහදෙනෙකුගෙන්ම කිරි බීලා හැදුන මට ම පහුගිය කාලේ රැුකියාව නිසා කියන්ට සිද්ධ වුනා ‘‘ළදරුවන්ට, 1+ 3+ ළමුන්ට දිය යුතු වඩාත්ම පෝෂණීය කිරි වර්ගය ⋆ ⋆ ⋆ ⋆  කිරිපිටි’’ යි කියලා...

මේක තමා ලොකුම දෛවයේ සරදම... නැද්ද ?

කොහොම නමුත් මුලු ගමෙන්ම කිරි බීලා මං ඉතාම පුෂ්ඨිමත්ව වැඬුනා. අනේ ඒවුනාට මට කිරි දුන්නාවු ඒ කිරි අම්මලාගේ දරුවෝ එහෙම සාරසුබාවට හැදුනේ නැතිලූ... ඒ නිසා අපේ අම්මට තව අමතර වගකීමක් නොදැනුවත්වම වගේ පැටවුනා. ඒ කිරි අම්මලාට හැමවිටම මුදල්හදල් වලින් නොවුනත්, යම් පමණකින් ගෙදරට  ඕනේ කරන අඩුම-කුඩුම ටිකකින් හරි උදව් කරන්න.

පස්සේ කාලේ නම් මේකට පෙරමුණ අරගෙන ක‍්‍රියාකරලා තියෙන්නේ මගේ තාත්තා... මගේ තාත්තා ඒ අතින් බලන කොට ‘‘හොඳ සමාජ සේවකයෙක් ’’ කියලා අම්මා නිතරම කියන්නේ වෛරයක් ද්වේශයක් හිතේ තියාගෙන නම් නෙවෙයි.

කොහොම නමුත් මේ මව්කිරි උරුමය සිහිකරිමත් දැන් කිසියම් ආනන්ද ජනක හැඟීම් ඇති කලාට එකල මං ඒකට දැඩි ලෙස වෛර කළ අවස්ථාද තිබුනා. එහෙම වුනේ මගේ අම්මාටත් වඩා මට කිරි දුන් ‘‘කිරිඅම්මලා’’ සමහර වෙලාවල බලවත්ව නැගී සිට, මගේ ප‍්‍රජාතාන්ත‍්‍රික උරුමයන් හා අයිතිවාසිකම් පවා පාලනය කරන්නට පටන්ගැනීම නිසයි. මගේ කරදඬු ඉස්සෙන්න ඉස්සෙන්න මේ ප‍්‍රශ්නේ බොහොම තදින් බලපෑවා...

⋆⋆⋆ මතු දිනයක ඉතුරු හරිය, චුට්ට චුට්ට කියන්නම්....⋆⋆⋆

4 comments:

  1. බොහොමත්ම ආශාවෙන් කියවීමි. ඉතිරි කොටස් ඉක්මණින් පළ වනු ඇතැයි සිතමි.

    මටත් පොඩිකාලේ කවුරුත් කිවේ සුදු මහත්තයා කියලයි. :D

    හැබැයි මට නම් අම්මගෙන් කිරි ලැබුනා ඉස්කෝලෙ යනකම්ම. ලැබුනා නොවෙයි මම බලෙන් බීලා! මට මතකයි පස්සේ පස්සේ වැඩිහිටියන්ගේ උපදෙස් පරිදි අම්මා කොහොඹ කොළ තවරං හිටියා මම කිරි බොන එක නතර කරන්න. මම ඒත් තන පුඩුව උර උරා ඉන්නවා මට අද වගේ මතකයි. ඒ හින්දද කොහෙද මොන තිත්තක් වුනත් මට තිත්තක් නැත්තේ...:)

    පස්සේ ගොඩක් අය එකතු වෙලා මාව අම්මගෙන් ඇදලා දමලා තමයි කිරිබීම නැවැත්තුවේ. ඒ සිදුවීම් මට මතක් වුනා මේක කියවද්දී...

    ReplyDelete
  2. බොහොමත්ම තුති ඩෝසන්... ඔබේ පිළිතුර විශාල ​​ධෛර්යයක්... කොහොම කොහොමහරි ලියන්නම්. 'බැද්දේගම' වැඩෙත් තියෙනවානේ...

    ReplyDelete
  3. අපූරුයි අයියා . .

    සමහර ප්‍රසිද්ධියේ නොකිව යුතු දේවල් මීට වඩා පෝඩ්ඩක් විතර හංගලාම කිව්වා නම් ලියවිල්ලේ රසවත්කම තවත් වැඩි වෙයි කියලත් හිතුනා . . .

    ජය

    ReplyDelete
  4. කතාව රසවත්ව ගලාගෙන යනවා

    ReplyDelete

හිතෙන යමක් සටහන් කරන්න අමතක නොකර