ඉහත රූපය

අනුරාධපුර මහමෙවුනාවේ... 1989 අසාර්ථක ජේවීපී සටනට දෙවන වරටත් සහභාගිවී (පළමුවර 1971 අසාර්ථක ජේවීපී සටන)බූස්ස පුනරුත්ථාපන කඳවුරේදී මට හමුවූ "බුලට්" නොහොත් "රොබට්" සීයා සමඟ ගත් සේයාරුවක් - මගේ අදියුරුවම අනුව සේයාරුව ගත්තේ ආචාර්ය පියසිරි විජයසේකර (මා ආදරේට කියන්නේ සිරි අයියා කියා)විසිනි.

November 24, 2010

පියමං කළ ළමා වියෙන් - 2

මහඟු- ශ්‍රේෂ් ... පිරිසිදු හිතක් - මනසක් හා
තේජවන්ත ශරීරයක් ඇත්තා .....



පුංචි කාලේ මට හෘදයවස්තුව විශාලවීමේ ලෙඩක් [Enlarge heart] තිබුනලූ. ඒ නිසා අවුරුදු 7ක් වුනාට පස්සේ තමයි ඉස්කෝලෙට භාරදීලා තියෙන්නෙත්. ඒ වුනාට අම්මා මට හැම පාඩමක්ම, හැම පොතක්ම ආදරයෙන් කරුණාවෙන් කියා දීපු නිසා ඉස්කෝලේ ගිහිං ඉගෙනගත්තට වැඩිය හොඳට මට හැමදෙයක්ම පුලුවන් වුනාලූ.

මේ කාලේ අපෙ සීයා, ඒ කියන්නේ අම්මගේ පියා, අපේ ගෙදර නවාතැන් ගත්තා. සීයාද රජයේ සේවයේ තැපැල් දෙපාර්තමේන්තුවේ, දුරකථන පරීක්ෂකවරයෙක් ලෙස සේවය කළ විශ‍්‍රාමිකයෙක්. ඔහුගේ දෑස් අන්ධයි. හැමදේම අතට පයට දෙන්න ඕනේ. හැබැයි සීයා රස සාගරයක්. කතන්දර කියන්ට පුදුමාකාර හැකියාවක් තිබුනේ. කොටින්ම ‘‘මෙගා’’ කතන්දර තමයි සීයා ළඟ තිබුනේ. අපිට තියෙන්නේ සීයා ඉල්ලන ගානේ බුලත්විටක් කොටල දෙන එක විතරයි. සීයා ගේ කතන්දර කීම නිසා අහල පහළ ගෙවල්වල ඉන්න හැමෝටම තම තමන්ගේ දරුවන්ගෙන් කිසිම ප‍්‍රශ්නයක් නෑ. අපේ ගෙවල් ඉදිරිපසින් යන දුම්රිය පාරට ළමයි යයි කියලා කිසිම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් බිය වුනෙත් නෑ. ළමයි බෙදලා දෙන කිසිම කෑමක් විසිකරන්නේ අහක දාන්නේ නැතිව කෑවා. මොකද සීයා කතන්දර කීම නතර කරයි කියලා බයට.

මගේ අම්මා ඉංගී‍්‍රසි ගුරුවරියක් වුනාට සහජ කිවිඳියක්. ඇය එකල අප රටේ සිටි ප‍්‍රකට කවීන්ට ලියුම් පවා ලිව්වේ කවියෙන්. එ්වාට ඒ ඒ කවියන් විසින් එවු කවි පිළිතුරු අම්මා පොතක් ලෙස එකතු කර තැබුවා මට තාම මතකයි. අම්මා පුරුද්දක් හැටියට අයියාටත් මටත් හැම රාති‍්‍රයකදීම මහා වංශය, පූජාවලිය, අමාවතුර, සද්ධර්මාලංකාරය වැනි පොත්පත් කියවා තේරුම්කර දීමත්, අපිත් සමඟ කවි ගායනා කිරීමත් එකල සාමාන්‍ය දෙයක් බවට, රසවත් දෙයක් බවට පත්වී තිබුනා.

සීයා ද ගීත ගායනා කිරීමේ අපූරු හැකියාවක් ඇති කෙනෙක්. ඔහු ගායනා කලේ එවකට ඉතාම ජනප‍්‍රිය ‘‘ඇස පී‍්‍රති කරන සෝබා’’... ‘‘ශිල්ප කර්මේ’’....‘‘අඹ දඹ නාරන් කෙසෙල් දෙල්’’ ආදි ගීතයි....

මා මගේ කුලුඳුල් කෙටිකතා සංග‍්‍රහය පළමුවෙන්ම සීයාට සහ අම්මාට පිළිගන්වා සිටියේ මේ දෙදෙනාට කෘතගුණ දැක්වීමට එයට වඩා උසස් වෙනත් කිසිම මඟක් නොමැති නිසයි.

මගේ නමේ විපුල කියන කෑල්ලට මුලින්, ටිකක් දිගට පෙළපතට අදාළ කෑල්ලක් තිබෙන නමුත් එ්ක පාවිච්චි කරන්නෙම නැති හින්දා මෙහි සඳහන් නොකරම ඉන්නම්. කොහොම නමුත් මගේ හොඳ නම නැත්නම් Good name එක විපුල. ඒකේ අගට එන සුමනසේකර කියන කෑල්ල ආවේ අපේ තාත්තාගෙන්. මේ දෙක එකතු කරලා ගත්තාම මහා බරපතල තේරුමක් තියෙන නමකුයි මට තියෙන්නේ. මිනිස්සු මෙච්චර බරපතල නම් දාගන්නේ මොන කෙංගෙඩියකටද කියලයි මං ඒ දවස්වල හිතුවේ. මොකද මගේ නමත් එක්ක, මගේ වයසේ හිටිය අනික් ළමයි කරන කියන මෙලෝ සම්මත දෙයක් මට කරන්ට බැහැ. මගේ නම මට මහා වධයක් වුනා... නමුත් දැන්නම් මං හිතන්නේ මගේ නම වෙස්වලාගෙන පැමිණි ආශීර්වාදයක් කියලයි....

මේ සිද්ධිය වෙන කාලේ වෙනකොට මගේ වයස 6 ක් 7 ක් විතර ඇති. මේ කාලේ අපේ ගෙදර ඉස්සරාම තියෙන පන්සලේ ලොකු හාමුදුරුවො මාව දකින දකින ගානේ ඉස්සෙල්ලාම මතක් කරලා දෙන්නේ නමයි, නමේ තේරුමයි...ඒ හින්දා මට විසුමක් නැතිවුනා...

” සුදු මහත්තයා... විපුල කියන එකේ තේරුම මොකක්ද ? සු...මන කියන එකේ තේරුම මොකක්ද ? සේ... කර කියන එකේ තේරුම මොකක්ද ? ”

අපේ අම්මට මේක තරමක් ගැටලුවක් වුනාට, ලොකු හාමුදුරුවො නෙවෙයි එ්ක කවදාවත් අපේ අම්මාට කිව්වේ. කොහොම නමුත් මට මේ නම උස්සාගෙන දරාගෙන ඉන්න බැරි තරම් මහා බරක්.

ඒක පොඩි සුන්දර කතාවක්. අද ඒක කියලා ඉන්නම්කො...

අපේ අම්මා හරිම අහිංසක, තමුන්ගේ බොක්කේ තියෙන දේ වුනත් කාටහරි දෙන්න සැදී පැහැදී සිටිය බොහොම ශ‍්‍රද්ධාසම්පන්න කාන්තාවක්. විශේෂයෙන්ම අපේ ගෙදර ඉස්සරාහම , රේල් පාරෙන් එහා පැත්තේ තිබුන , බෝතලාපිටියේ ශී‍්‍ර ගංඟාතිලක විහාරස්ථානෙට හැමදෙයක්ම ඇය පළමුවෙන්ම පූජා කළා...

හදිසියේ පන්සලට වෙනත් පන්සලකින් හාමුදුරුවෝ කීපදෙනෙක් දානේ වෙලාවට වැඩියොත් එහෙම, පේරු දානේ මදිවෙනවා. එතකොට ලොකු හාමුදුරුවොත් කිසීම ගානක් නැතිව එ් පනිවිඩය එවන්නේ අපේ අම්මාට. අම්මා දවල්ට අපිට කන්ට උයාපු බත්හට්ටියයි මාලුපිණියි හැලිපිටින්ම පන්සලට යවනවා... එහෙම වෙලාවල අලූතින් උයලා, ටිකක් පමාවෙලා තමයි අපිට කන්ට ලැබුනේ... මට නම් පොඩි කාලෙදිවත් එහෙමට පෙරේතකමක් තිබුනේ නෑ කියලා අම්මා නිතරම කිව්වා. නමුත් මට වඩා අවුරුදු එකහමාරක් විතර වයසින් වැඩි රෝහණයියා නම් ඒවගේ වෙලාවල.....”අම්මා කරතොත් කරන්නේ ඔය වගේ වැඩමයි” කියලා කියනවාලූ. මේ පණ්ඩිත කතාව අපේ මාම කෙනෙක් තමා අයියට උගන්වලා තියෙන්නේ....

මේ වගේම තමයි අපේ අම්මාගේ ශ‍්‍රද්ධාව ගෙදර වත්තේ වැටෙන කෙහෙල් කැන් වලටත්. අයියායි මමයි කැන වැටුන දා ඉඳලා බලන් ඉන්නේ ලොකුම ගෙඩිය කන්ට. අම්මා කෙහෙල් කැන හොඳට ලොකුවෙලා, මොරලා, පැහුනට පස්සේ ඒක බාලා, කුස්සිය ළඟට වෙන්ට වලක් කපලා, පිදුරු කොළ ආදිය දාලා දුම් ගහලා ඉදවනවා. අයියයි මායි බලන් ඉන්නේ ලොකුම ගෙඩියට වැඬේ දෙන්ට. ඒත් කවදාවත් එ්ක කරන්ට අම්මාගෙන් ලැබෙන්නේ නෑ... ලොකුම - මුල් ඇවරිය යන්නේ පන්සලට. හැමදාමත් රෝහණයියාගේ සුපුරුදු දෙබස ඇහෙනවා අන්තිමට.

''අම්මා කරතොත් කරන්නේ ඔය වගේ වැඩමයි”

මේකෙ තියෙන අමාරුම වැඬේ තමයි පන්සලට ලොකුම කෙසෙල් ඇවරිය ගිහිං දෙන එක. ලොකුම ඇවරිය පන්සලට යවන්නෙත් අයියාගේ අතේ හරි මගේ අතේ හරි වීම ටිකක් හිතට අමාරු වැඩක්... මන්ද, පන්සලට මේක ගෙනියන්නේ ලොකුම කෙහෙල් ගෙඩිය නැතිවීමේ හිතේ අමාරුවෙන්. ගෙනියන ගමන් සිය දහස් වර හිතෙන් කෙහෙල් ගෙඩි කනවා. පව් පුරවා ගන්නවා. අයියා නම් දවසක් මඟට ගිහිං ගෙඩියක් කඩාගෙන කාලා අම්මාගෙන් පාරදෙක තුනකුත් කෑවා හොඳට... මං ටිකක් ලොකු වුනාට පස්සේ මේ වැඬේ මටම කරන්ට සිද්ධ වුනේ අයියා සම්පූර්ණයෙන්ම එ්කෙන් කර ඇරීම නිසයි...
මේ කියන දවසෙත් ලොකු ආනමාලූ කෙසෙල් ඇවරියක් අරන් මං ගියා පන්සලේ ලොකු හාමුදුරුවන් ළඟට. එතකොට හාමුදුරුවන් හිටියේ චෛත්‍යය ළඟ ඉඳන් පන්සල තුළට යන ගමන්ය. උන්වහන්සේ අපිට ඉතාම ආදරේය. ඉතාම කරුණාවන්තය. මං කෙහෙල් ඇවරිය ගෙනාව බව කීවාම ලොකු හාමුදුරුවෝ සුමේධ පොඩි හාමුදුරුවන්ට කතා කරල

”පොඩිනම... මේ සුදුමහත්තයා ගෙනාපු කෙහෙල් ඇවරිය දාන ශාලාවෙන් තියලා, එක ගෙඩියක් කපලා හොදලා බුදුන්ට පුජාකරන්ට ඕනේ.. දෙන්නම එක්ක ගිහිං...ඇහුනද? ”

සුමේධ පොඩි හාමුදුරුවොත් ”එහෙයි ” කිව්වේ බොහොම යටහත් පහත් විදියට. ඒ කියලා අපි දෙන්නම ගියේ දන්ගෙට.

සුමේධ පොඩි හාම්දුරුවෝ ඇවරියේ පුංචිම ගෙඩිය කඩලා හෝදලා, පොඩි පීරිසියක තියලා මගේ අතට දුන්නා. ‘‘ බුදුහාමුදුරුවන්ට පොඩි ගෙඩිය ඇති...අනික අන්තිමට ඕක කන්නෙත් සියාතුනේ ’’ එහෙම කිව්වේ පොඩි හාමුදුරුවෝ. ((සියාතු කියන්නේ පන්සලේ හිටිය ආවතේවකාරයා.)) ඊළඟට සුමේධ පොඩි හාම්දුරුවෝ කළේ කෙසෙල් ඇවරියෙන් ගෙඩියක් කඩාගෙන කෑමයි. තවමත් එහි ලොකුම ගෙඩිය බේරී ඇත. මං පැන්න ගමන් ලොකුම ගෙඩිය කඩාගෙන කන්නට පටන් ගතිමි.

සුමේධ පොඩි හාමුදුරුවෝ විමතියෙන් ‘‘ ආ... ඇයි ඔයා කන්නේ...?’’
‘‘ ඇයි එහෙනං ඔයා කන්නේ ? ’’ මගේ ක්ෂණික පිළිතුර එය විය.
‘‘ අපිට කන්ටනේ පන්සලට ගෙනාවේ ... ’’
‘‘ වුනාට අපේ අම්මනේ එව්වේ...’’
‘‘ මං කියනවා සුදුහාමිනේට කෙහෙල්ගෙඩි දෙකක්ම කෑවා කියලා ’’

සුමේධ පොඩි හාමුදුරුවෝ උන්වහන්සේ වැළඳු කෙහෙල් ගෙඩියේ ලෙල්ල ද මා වෙතට දමා ගැසීය. මම ඊළඟට ලොකුම ගෙඩියත් කඩාගෙන කන්නට වීමි.

‘‘ඇත්තමයි සුදු මහත්තයා ... මං කියනවා දෙකක්ම කෑවා කියලා හරිද ? ’’
‘‘ කිව්වට කමක් නෑ ... මං බය නෑ...’’

කොහොම කොහොමහරි පස්සේ දෙන්නම රන්ඩුවෙන්නෙ නැතුව බුද්ධ පූජාව තබා ආවා කියමුකෝ. ඊට දින දෙකකට විතර පස්සේ පන්සලට ගිය වෙලාවක ලොකු හාමුදුරුවෝ මාව තනිවම කොටුකරගත්තා... උන්වහන්සේ ඉතාම කරුණාවෙන් මගේ අතින් අල්ලාගෙන බෝමලුව දෙසට පා නඟමින්,

‘‘ සුදු මහත්තයා දන්නවද සුදු මහත්තයාගේ විපුල කියන නම තිබ්බේ කවුද කියලා ?’’
‘‘ දන්නේ නෑ හාමුදුරුවනේ’’ මම කීවෙමි.
‘‘ ඒක තිබ්බේ මම... එතකොට සුදු මහත්තයා දන්නවද ඔය නමේ තේරුම ?’’
‘‘ දන්නේ නෑ හාමුදුරුවනේ’’

මම එවරද නොපැකිළව කීවෙමි. ඉන්පසු නානා නිදසුන් ගෙනහැර පාමින් ‘‘ විපුල’’ යන්නෙහි තේරුම ‘‘ මහඟු ... ශ්‍රේෂ්ට,... සු...මන යන්නෙහි තේරුම පිරිසිදු හිතක්, මනසක් සහ සේ... කර යන්නෙහි තේරුම තේජවන්ත ශරීරයක් ඇත්තා’’ ආදී වශයෙන් දිග දේශනාවක් කර, ‘‘මේ වගේ අය කවදාවත් නරක වැඩ කරන්නෑ... හොරකම් කරන්නේ නෑ... පන්සලට පූජා කරන දේවල් සාංගීකයි... ඒවා කන්නේ නෑ... හොරෙන් ගන්නේ නෑ...’’ කියමින් දේශනාව නවත්වා මගේ මුහුණ බැලීය.

‘‘මං එදා කෙහෙල් ගෙඩි දෙකක් නම් කෑවා’’ මම එකවරම කියා සිටියෙමි.

එවිට උන්වහන්සේ කට කොනකට සිනාවක් නඟාගනිමින් මෙසේ කිව්වා මතකයි.

‘‘ඇත්ත කියන එක... වැරැද්ද පිළිගන්න එක හොඳ ගුණයක්... ඒවගේම තමයි නැවත ඒ වැරැද්ද නොකර ඉන්න උත්සාහගන්න ඕනේ... එහෙම නොවුනොත් නම කැතවෙනවා...මුලු ආත්මෙම කැතවෙනවා... අපිරිසිදුවෙනවා... මිනිස්සු සුදු මහත්තයා කියන එකක් නැතිවෙයි ...කිලුටු මහත්තයා කියයි...’’

අපේ ලොකු හාමුදුරුවෝ මට මේ සියල්ල වටහා දුන්නේ ඉතාම ආදරයෙන් සහ කරුණාවෙන් වූ බැවින් ඉන්පසු එවැනි හොරකම් මගෙන් සිදුවුනේ ඉතාම කලාතුරකිනි. ශරිර වර්ධනයෙන් හා වයසින් මුහුකුරා යත්ම උන්වහන්සේ දුන් නමට හා මේ ඔවදනට පින්සිදුවන්ට බොහෝ වැරදි වලින් ඈත්ව සිටින්නට මට හැකි වූ බව මං මෙසේ අති මහත් වූ භක්ත්‍යාදරයකින් යුක්තව මෙහි සටහන් කරමි.

හැබැයි ඊට පස්සේ සුමේධ පොඩි හාමුදුරුවො නම් මාව බය කරලා යටත් කරගන්න ඕන හැම වෙලාවකම ”මං කියනවා සුදු හාමිනේට පන්සලට එව්ව කෙහෙල් ඇවරියෙන් සුදු මහත්තයා ගෙඩි දෙකක්ම හොරා කෑවා කියලා” කියමින් බය කලාට උන්නාන්සෙත් එ්ක කවදාවක්වත් අම්මට කිව්වේ නෑ.

ඒ වුනාට පස්සෙන් පහු කාලයක උන්නාන්සේ සිංහල ගෞරව උපාධිය අරගෙන ඉවරවෙලා, සිවුර බෝගහේ අත්තක වනලා ගෙදර ගිහිං කසාද බඳින දා මට ආරාධනා කරලා... සාක්ෂියට එහෙම අත්සන් කරවාගෙන එහෙම, ඔය කතාව කියලා මංගල සභාව දෙක වෙන්ට හිනාවුනා.


10 comments:

  1. ළමා කාලේ හැටි ඔහොම තමයි. අතිශය කුඩා සිදුවීම් තුළ පවා මහ විසාල අරුත් තිබ්බ බව දැං තමයි තේරෙන්නේ...මේව කියවද්දී මටත් වෙලාවකට හිතෙනවා මේ වගේ මගේ අතීතයත් කොහේ හරි ලියල තියන්න...මොකද මේ වගේම රසවත් සිද්දි සෑහෙන තියෙනවා එහෙම ලියන්න. මම පංසලේ හාමුදුරුවො එක්කල තිබ්බ සම්බන්ධතා මීට හාත්පසින් වෙනස්. ඒකට හේතුව මම ඇසුරට වැටුනේ නාගරික පන්සල් නිසා වෙන්න ඕන.

    මට හිතෙන්නේ අපි හැමෝටම පුදුම කතන්දර ගොඩක් තියෙනවා අපේ අතීත පසුබිමේ මේ විදියට ලියල තියන්න පුළුවන්....

    ReplyDelete
  2. මං ඊයේ රෑ මධ්‍යම රාත්‍රියේ දැම්මා. අද උදේ බලන කොට ඔබේ ප්‍රතිචාරය ඈවිත්... ඒක මට මහා දිරියක් හා ආශීර්වාදයක්... එයට කෘතගුණ සලකන්න මං බලන් ඉන්නවා ඔ​බේ 'යටගියාවෙන් බිඳක්...' දොරට වඬින තුරු.

    අපිට හැමදේම හිතට එකඟව ලියන්න බැරිවෙයි ඩෝසන්.......

    (((පවතින අපේ විවාහ සංස්ථාව රැකගැනීමට ඈති බැවින් ඈත්තටම මට අවංකවම මගේ 'දිනපොතක්' ලියන්න විදියක් නෑ. පහුවෙනිදා ඈහැරලා බලනකොට ලියපු පිටු නෑ...)))

    නමුත් මේ සියළු බාධක මැද - මැඬ, කිසියම් දුරකට යමෙකුට ප්‍රයෝජනයක් වේයයි සිතිය හැති අල්පයක් හෝ මෙලෙස සටහන් කිරීම අප මෙලොව ඉපදීමේ ණය බරින් මිඳීමක් කියලයි මට හිතෙන්නේ... එමනිසා අදම, වහාම ලියන්න පටන්ගන්න ඒ සොඳුරු මතකයන්... මට දෙන දිරියට ඔබට නොවක් පින් හා තුති !

    ReplyDelete
  3. අපට හදා ගත්තු ප්‍රතිරූප තියෙන නිසා මුළු ජීවිත කතාව ම සහසුද්දෙන් ලියන්න බැරියාවක් මටත් තියෙනවා. ඒ උනාට අපේ පුංචි සන්දියේ සිදුවීම් කිසිදු අබග්ගයකින් තොරව කියා ගන්න පුලුවන් නිසාවෙන් අපි අපේ පුංචි සන්දිය ගැන විතරක් අවංකව ලියා පළ කරමු..!!!

    ReplyDelete
  4. ඒක නම් ඈත්ත තමයි මචාං... බලමු.... නැහැ එහෙම කරමු ! තැන්ක් යු මචෝ....

    ReplyDelete
  5. hemamalie banda¾íyakaNovember 25, 2010 at 12:27 PM

    ලස්සනය් අය්යා, මටත් මතක් වුණා...... අපි ඉස්සර ඉස්කෝලේ යනකොට
    අපේ පන්සලේ පොඩි හාමුදුරුවොත් එනවා අපි එක්ක
    ලැවරිය, පැණි ආප්ප කැවිලි ජාති අරගෙන එන්නේ
    අපි ඉතින් පන්සල පහු වෙච්ච ගමන් ඒවාට වැඩේ දෙනවා....

    ReplyDelete
  6. hemamalie bandaranayakaNovember 25, 2010 at 12:29 PM

    ලස්සනය් අය්යා, මටත් මතක් වුණා...... අපි ඉස්සර ඉස්කෝලේ යනකොට
    අපේ පන්සලේ පොඩි හාමුදුරුවොත් එනවා අපි එක්ක
    ලැවරිය, පැණි ආප්ප කැවිලි ජාති අරගෙන එන්නේ
    අපි ඉතින් පන්සල පහු වෙච්ච ගමන් ඒවාට වැඩේ දෙනවා....

    ReplyDelete
  7. ඔව්, බොහොම රසවත් වැඩක් තමයි විපුල අයියා කරගෙන යන්නෙ. තමන්ගෙ අත්දැකීම් අපිත් එක්ක නොමසුරුව් බෙදාහදා ගැනීමට ස්තූතියි. විවිධ අය පැමිණ ඇත්තේ විවිධ පසුබිම් වලින් බැවින් මේ ආකාරයට අත්දැකීම් හුවමාරු වීම හරිම අගනා කටයුත්තක්.

    ReplyDelete
  8. හේමමාලිටයි උදයටයි තුති... කියෙව්වටයි. ඊට අමතරව අදහසක් එකතුකිරීම ගැනයි... ඈත්තටම අපි විවිධ පැතිවලින්, විවිධ කාලවල, විවිධ සමාජ හා වයස් පරතර අතරින් මතුවෙන විවිධ අය... අපි අතර තියෙන එකම එක සමාන ගුණය නම් මිනිස්කම පමණයි... ඊළඟට අපට ඈති පොදු උවමනාව,ලෝකේ කොහේ හිටියත්, හැමෝගේම යහපත සඳහා අපි දන්නා දෙයක් නොමසුරුව බෙදා හදාගැනීම. බලන්න හේමමාලිගේ අත්දැකීම කොච්චර සුන්දරද කියලා... හේමමාලිටයි උදයටයි නැවතත් තුති....

    ReplyDelete
  9. අඩෝ මේ මට බොරු නං කියන්න එපා මචෝ...මේ අපූරුවට ටයිප් වෙන ඒව පේස්ට් කරන්න පුලුවන්නෙ ඕනෙ මගුලක..!!

    ReplyDelete
  10. කතාව මෙතනින් නවත්තලා තියෙන්නේ මොකද ? ඉතුරු ටිකත් කියාගෙන යමු. ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන් ඉන්නේ

    ReplyDelete

හිතෙන යමක් සටහන් කරන්න අමතක නොකර